Saturday, June 18, 2011

අකාලිකෝ (for all times)

කටුකුරුන්දේ ඥානානන්ද හිමියන් ගේ ධර්ම දේශනාවකදී පහත විස්තරය අසන්නට ලැබුණි.

"බුදුන් වහන්සේ විසින්ම වදාල ධර්ම පාඨයක් නම් පහසුවෙන් හඳුනාගත හැකියි. අර්ථය ඉතාම පැහැදිලියි, කෙටියි, කිව යුත්ත කිව හැකි සරලම සහ නිවැරදිම ආකාරයෙන් දේශනා කර ඇත. පරස්පර නොපවතී."     

ගැඹුරු කරුනු විස්තර කිරීමේදී බුදු හිමියන් දක්වන මේ කියන විශිෂ්ඨත්වය හරිහැටි දැකීමට නම් ඥානානන්ද හිමියන් මෙන් ධර්ම මගෙහී ගමන් කොට තිබීම අවශ්‍ය වනු ඇත. එසේ වුවද පෘථුග්ජන අපටත් මේ සදහම් රසය විඳිය හැකි අවස්ථා තිබිය හැක.

පහත උදාහරණය බලන්න.

ආරෝග්‍යා පරමා ලාභා, සන්තුෂ්ඨී පරම0 ධන0
විශ්වාසා පරමා ඥාතී, නිබ්බන0 පරම0 සුඛ0 

පරම ලාභය නම් නීරෝගීකම වෙයි.
පරම ධනය නම් සිතේ සතුටයි,
පරම ඥාතියානම් විශ්වාසවන්ත තැනත්තායි.
පරම සැපත නම් නිවනයි. 

කොතරම් අගනේද ? සරලද ? සර්වකාලීනද ?

1) නීරෝගීකමෙහී අගය දැනෙන්නේ එය නැති වූ විටය. අප ලබන මොනම ලාභයක්වත් නීරෝගිකම නැතිකරගෙන ලබනු වටීද ?

2) සිතේ සතුට නැතිව වෙන කුමක් ලැබුවත් ඇති ඵලය කිම ? අනෙක් අතට සිතේ සතුට ඇත්නම්, අපට අවශ්‍ය ලෙස දකින බොහෝ දෙය නැතුව සිටීමට හැකිය. සිතේ සතුට අහිමි කරගෙන ලබන ධනය කුමක් සඳහාද? සතුට යනු අවසානයේදී මානසික තත්වයකි. (mental condition)  අවශ්‍යනම් දැනට අප සතු දෙයින්ම මේ සතුට ඇති කරගත හැකිය. ධනය සහ වස්තුව අත් කරගැනීමත් සිතේ සතුටත් අතර ඍජු සම්භන්ධයක් ඇත්තෙන්ම දැකිය හැකිද ? ඇත්ත සැනසීම ලැබෙනුයේ අරමුණු හඹා යෑමෙන් සහ ගොඩ ගසාගැනීමෙන්ද ? සැනසුම පසුපස එළවන තරමට එය අපෙන් ඈත් වනු දැක ඇතිද ? සැනසීම ලැබෙනුයේ අත් හරින තරමටය! අත් හරින විට ජීවිතය සරල වේ, බැඳීම් අඩු වෙයි, වගකීම් සහ සිතේ බර අඩු වේ, නිදහස වැඩි වෙයි.

3) ෆේස්බූක් මිතුරන් සිය ගණනකට සහ අප ලඟ නැති, විශ්වාසය තැබීමට නොහැකි නෑදෑ පරපුරකට වඩා විශ්වාසවන්ත එක සැබෑ මිතුරෙක් නොවටීද ? විශ්වාසවන්තයාට වඩා නෑයෙක් තවත් කොහින්ද ?

නීරෝගීකම, සිතේ සතුට, විශ්වාසවන්තයින්... ජීවිතයේ අරමුණු කර ගත යුත්තේ මේවා නොවේද ?

4) අපගේ අවබෝධයෙන් ඈතය. කෙසේ වුවත් මේ සඳහා වුවද, ඉහත කරුණු 3 කෙරෙහි යොමුවීම හොඳ ආරම්භයක් ලබා දෙනු ඇත.

Monday, June 13, 2011

පොඩ්ඩෝත් දැන් බ්ලොග් ලියති!

මගේ දුවටත් මෙන්න ඕන වෙලා බ්ලොග් ලියන්න!

දුවගේ වයස තවම යන්තම් 11 යි. තවම ශිෂ්‍යත්වය පාස් වුනා විතරයි.

මෙයාට ලියන්න කෙසේ වෙතත් පොත් කියවන්න ඇබ්බැහි කලෙත් මම බොහොම අමාරුවෙන් මේ ළඟදී. දැන් නම් ඉතින් ඒක ආයෙ අමුතුවෙන් කරන්න ඕන නැහැ. මහන්සි වෙන්න ඕන කියවීම ටිකක් අඩු කරන්න ඕන වුනොත් තමයි.

දැන් ඉතින් මට නිදහසේ කොම්පියුටරය ලඟ ඉන්නත් බැහැ හැම විටම. ලියන දෙයත් ඉතින් පරිස්සමින් ලියන්න වෙයි ඉස්සරහට.

මේ ප්‍රශ්ණය ඇති කරගත්තෙත් මම ම තමයි. දවසක් දුව මගෙන් ඇහුවා මෙහෙම.

"අප්පච්චි, මට පොතක් ලියන්න ආසයි"

"ෂා! හරි ෂෝක්නෙ.., ඉතින් ඔයා ලියන්න." මමත් කීවා වැඩි කල්පනාවක් නැතුව.

"හොඳයි මම ලිවුවොත් ඔයා ඒක ප්‍රින්ට් කරල දෙනවද?"

මදැයි! පොත් ප්‍රකාශකයෙක් වෙන එක තමයි මටත් අඩු වෙලා තිබුනේ...

ඉතින් මම බොහෝම අමාරුවෙන් දුවට තේරුම් කරල දුන්නා පොත් ලියන එක ලොකු වැඩක්, ඉස්සෙල්ලා අපි හොඳින් ලියන්න ඉගෙන ගෙන පුරුදු වෙලා ඉන්න ඕනෑ ආදී වශයෙන්. මගේම තාවකාලික බේරීම සඳහා බ්ලොග් ගිනුමක් මම හදල දුන්න එදාම. මම හිතුවෙ මේකත් ටික දවසකින් ඇරිල යාවි කියලා. ("මෙයත් යාවි කෙලවර වී" කිව්වලු ලින්කන් ගොයියා. "This too will pass away" - Abraham Lincoln)

"ඉස්සරවෙලා ලියන්න පුරුදු වෙලා ඉන්නකෝ, පොත් පල කරන්න පුළුවන් ඊට පස්සෙ"

ඉතින් මේක කාලයක් තිස්සෙ කෙරීගෙන ගියා. පොඩි එකීගෙ ලිවීම් වල අඩු පාඩු බොහෝමයි, ඒත් මම ඒ හැම එකක්ම නිවැරදි කරන්න ගියේ නෑ. ඇවිත් ඇහුවොත් දෙයක් කියල දෙනව ඇරෙන්න. ආසවට ඔය කරන හරියම මදෑ?

ඊයේ දුවට පොඩි අනතුරක් උනා. අද ඉස්කෝලෙ යන්නත් බැහැ. මම වැඩට යන කොට බොහොම ආසවෙන් කොම්පියුටරය ළඟට වෙලා හිටියා. (ඇයි එයට දැන් දවසම ඒක අයිති කර ගන්න පුළුවන් නේ)

මෙන්න බලනකොට දැන් කවියකුත් ලියලා !

බලනකොට පොඩ්ඩෝ මෙහෙම බ්ලොග් ලියන එක හොඳයි. ඒකෙන් ළමයින්ගේ ලිවීමේ හැකියාවන් ටිකක් හරි දියුනු වෙයි. ඒවාගෙම අන්තර්ජාලය හොඳ විදිහකට පාවිච්චි කරන හැටි ගැන හුරුවකුත් ලැබෙයි. ළමයි ලියන විහිළු දැකලා වැඩිහිටියන්ට හොඳ විනෝදයකුත් ගන්න පුළුවන්!

මෙන්න කවිය