Saturday, June 18, 2011

අකාලිකෝ (for all times)

කටුකුරුන්දේ ඥානානන්ද හිමියන් ගේ ධර්ම දේශනාවකදී පහත විස්තරය අසන්නට ලැබුණි.

"බුදුන් වහන්සේ විසින්ම වදාල ධර්ම පාඨයක් නම් පහසුවෙන් හඳුනාගත හැකියි. අර්ථය ඉතාම පැහැදිලියි, කෙටියි, කිව යුත්ත කිව හැකි සරලම සහ නිවැරදිම ආකාරයෙන් දේශනා කර ඇත. පරස්පර නොපවතී."     

ගැඹුරු කරුනු විස්තර කිරීමේදී බුදු හිමියන් දක්වන මේ කියන විශිෂ්ඨත්වය හරිහැටි දැකීමට නම් ඥානානන්ද හිමියන් මෙන් ධර්ම මගෙහී ගමන් කොට තිබීම අවශ්‍ය වනු ඇත. එසේ වුවද පෘථුග්ජන අපටත් මේ සදහම් රසය විඳිය හැකි අවස්ථා තිබිය හැක.

පහත උදාහරණය බලන්න.

ආරෝග්‍යා පරමා ලාභා, සන්තුෂ්ඨී පරම0 ධන0
විශ්වාසා පරමා ඥාතී, නිබ්බන0 පරම0 සුඛ0 

පරම ලාභය නම් නීරෝගීකම වෙයි.
පරම ධනය නම් සිතේ සතුටයි,
පරම ඥාතියානම් විශ්වාසවන්ත තැනත්තායි.
පරම සැපත නම් නිවනයි. 

කොතරම් අගනේද ? සරලද ? සර්වකාලීනද ?

1) නීරෝගීකමෙහී අගය දැනෙන්නේ එය නැති වූ විටය. අප ලබන මොනම ලාභයක්වත් නීරෝගිකම නැතිකරගෙන ලබනු වටීද ?

2) සිතේ සතුට නැතිව වෙන කුමක් ලැබුවත් ඇති ඵලය කිම ? අනෙක් අතට සිතේ සතුට ඇත්නම්, අපට අවශ්‍ය ලෙස දකින බොහෝ දෙය නැතුව සිටීමට හැකිය. සිතේ සතුට අහිමි කරගෙන ලබන ධනය කුමක් සඳහාද? සතුට යනු අවසානයේදී මානසික තත්වයකි. (mental condition)  අවශ්‍යනම් දැනට අප සතු දෙයින්ම මේ සතුට ඇති කරගත හැකිය. ධනය සහ වස්තුව අත් කරගැනීමත් සිතේ සතුටත් අතර ඍජු සම්භන්ධයක් ඇත්තෙන්ම දැකිය හැකිද ? ඇත්ත සැනසීම ලැබෙනුයේ අරමුණු හඹා යෑමෙන් සහ ගොඩ ගසාගැනීමෙන්ද ? සැනසුම පසුපස එළවන තරමට එය අපෙන් ඈත් වනු දැක ඇතිද ? සැනසීම ලැබෙනුයේ අත් හරින තරමටය! අත් හරින විට ජීවිතය සරල වේ, බැඳීම් අඩු වෙයි, වගකීම් සහ සිතේ බර අඩු වේ, නිදහස වැඩි වෙයි.

3) ෆේස්බූක් මිතුරන් සිය ගණනකට සහ අප ලඟ නැති, විශ්වාසය තැබීමට නොහැකි නෑදෑ පරපුරකට වඩා විශ්වාසවන්ත එක සැබෑ මිතුරෙක් නොවටීද ? විශ්වාසවන්තයාට වඩා නෑයෙක් තවත් කොහින්ද ?

නීරෝගීකම, සිතේ සතුට, විශ්වාසවන්තයින්... ජීවිතයේ අරමුණු කර ගත යුත්තේ මේවා නොවේද ?

4) අපගේ අවබෝධයෙන් ඈතය. කෙසේ වුවත් මේ සඳහා වුවද, ඉහත කරුණු 3 කෙරෙහි යොමුවීම හොඳ ආරම්භයක් ලබා දෙනු ඇත.